Sunday, February 14, 2016

සිහිනය...

දකින සිහින පැදුරේදිම බොඳ වෙනවා
සියුමැලි දැත් රලු ගල් හා හැප්පෙනවා
එපිට ලොවක් ගැන තවමත් නොපෙනෙනවා
ගල්ගෙඩි අතර දුක විඳිමින් ලත වෙනවා

පාසල් යන්න ආසාවක් සිත තිබෙනා
හීනෙන් පවා දුටුවිට පොඩි සිත දැවෙනා
කොතනද වරද හරි හැටි සිත නොම දන්නා
ලෝකය දිනන අරමුණ මිරිඟුව වෙන්නා

නායක නමින් රජ කරනා ලොකු ඇත්තෝ
උන්ගෙම සතුට වෙනුවෙන් සිටිනා ගැත්තෝ
රටම රවටමින් රඟදෙන මේ ඇත්තෝ
උඹේ සිහින හොරකම් කර අරගත්තෝ

වීරිය අරන් උඹ ටික ටික හිට ගන්න
ලොක්කන් දෙකන් ඇරෙනා ලෙස හඬ දෙන්න
හොරකම් කරපු ඒ හීනය ඉල්ලන්න
සැම වෙනුවෙන්ම සුවිසල් ලොව ජයගන්න

                                                       ඡයාරූපය අන්තර්ජාලයෙනි

Monday, February 1, 2016

නගරයේ රෑ

ඔබ සැම දෙන නිදියන අතරේ
අඳුරෙන් වැසි සුන්දර නගරේ
ගෙවෙනා හැම තත්පර අතරේ
නොසිතන ලෙස අරුමය පැතිරේ

දුම්‍රිය තුළ ලිපි එන අතරේ
තොග බඩු සැළ වෙත එයි නගරේ
මේ හැම සිදුවන විට නගරේ
ජීවිත විකිනෙණවලු අඳුරේ

නොනිදන කඩපෙළ එළි දෙනවා
හොඳ හැටි කෑමද විකිනෙණවා
එක එක රංගන රඟදෙනවා
පැය ටික මේ ලෙස ගතවෙනවා

පිරිතේ නාදය රැව්දෙනවා
ආසිරි පැතුමන් එක්වෙනවා
හෙමිහිට අරුනළු පැතිරෙනවා
නොදකින යාමය නිමවෙනවා