Saturday, October 25, 2014

රට නැංවූ මිනිසුන්

සීගිරි ගලේ සිතුවම් ඇන්දේ කවුරු
සිංහ රුවට ජීවය දුන්නේ කවුරු
සීගිරි ගලේ ඉතිහාසේ නම කවුරු
ඉතිහාසයද ඇයි මේ තරමට නපුරු

කලා වැවට දිය පිරුණේ කොයි දෑතින්
යොධ ඇලේ දිය ගැළුවේ කොයි දෑතින්
ඉතිහාසයේ නම් ලියවන කලට ඉතින්
ඇයි නොලිවුනේ 'සහ පිරිසයි' කියන වදන්

ඉතිහාසයෙම පර සතුරන් පැරද වුනා
රටකට ඕනෙ ඒ නිදහස සඵල වුනා
දේශය නමින් පොඩි මිනිසුන් මිය ඇදුනා
නිරිදුන් නමක් ඉතිහාසයෙ පල කෙරුණා

වඩුවාණනේ ඔබ කල බුදුරුව මනරම්
පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්
දෑසින් පෙනෙයි මෙත් මුදිතා ගූණ මනරම්
ඔබගේ දිවිය මෙලෙසට වූවද කැටයම්

ඉතිහාසයට අමතකදෝ ඔබේ නම
කාළය සමග ලියවිණ ඒ රජුගෙ නම
කෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කම
පොතකට නොවේ හද තුලටම කියමි මම

මේ මිනිසුන්ට මේ කවි පද ඇසුණා නම්
දෙන පිලිතුරුත් කෙලෙසට වෙද දන්නේ නම්

සීගිරි ගලේ ඇන්දේ යුතුකම වෙනුවෙන්
සිංහ රුවට දිවි දුන්නේ රජු වෙනුවෙන්
ඉතිහාසයේ නැති වූවද අප නාමෙන්
දුක නෑ කලෙමියුතුකම මම රට වෙනුවෙන්

කලා වැවට දිය පිරුණේ අපෙ දෑතින්
යොධ ඇලේ දිය ගැලුවේ අපෙ දෑතින්
මව් බිම හැදුණෙ ඒ නිරිදුන්ගේ නුවණින්
සැබෑ රජෙකු විය එතුමන් රට නාමෙන්

දෙදහස් වසක් මේ සිරිලක රැක දුන්න
දේශෙට ඕන ඒ නිදහස රැක දුන්න
අපි වෙමු සෙබළු හැම යුද්දෙම මිය ඇදුන
ඇගයුම නෙවෙයි මව් බිම විතරයි ඕන

දෙදහස් වසට ‍පෙර යුගයක ලක උන්න
මම වෙමි වඩුව බුදුන‍ග රුව හැඩ කෙරුණ
කළයුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරණ
මට නම් ඕනෙ නෑ මගෙ නම ලියවන්න

4 comments:

  1. කොහොමත් ඉතින් ලියවෙන්නෙ රජාගෙ නම නෙ. ඔය සීගිරියෙ තියන්නෙ සිංහ රුවක් නෙවෙයි කියලත් කියනව නේද.. ක්හොම වුනත් ඒවයෙ තියන කලාත්මක වටිනාකම නම් ඉහලයි.
    අද මොකෝ ටිකක් වැඩියෙන් ලියලා ??? :)

    ReplyDelete
    Replies
    1. තරගයකට ලියපු කවි පෙලක් නිසා ටිකක් දිගයි...

      Delete
  2. හා කවි ටික හොඳයි.. සීගිරිය ගැන නම් ඉතින් වෙනම කතා කල යුතු ලොකු මාතෘකාවක්..
    මාස තුන හතරකින් තමා මේ බ්ලොග් පැත්තේ එන්නේ.. හමු වීම සතුටක්! දැන් මමත් ආපහු ලියන්න පටන් ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නැවත ඉක්මනින් පටන් ගන්න...

      Delete