Saturday, December 31, 2016

2017

සැම දුක්ගිනි නිම කරමින් සතුටේ මල් වැසි වසින්න
සැක සංකා දුරුකරමින් විශ්වාසය පතුරුවන්න
භේදභින්න වූ මිනිසුන් සොයුරන් සේ එකතු වෙන්න
අඳුරට ආලෝකය ගෙන නව වසරක් උදා වෙන්න

Sunday, December 11, 2016

ජීවිත කතාවක්...

උපන්දා සිට මෙදා වනතුරු පියා කවුදැයි දැක නැතී
වත්ත අද්දර පාසලෙන් මට පාඩමක් කියලා නැතී
අම්ම හැර වෙන නෑසියන් මට ජීවිතේ ඉඳලා නතී
අම්ම කලදේ හැර කුමක් මා කරන්නද කෙලෙසට සිතී

Tuesday, November 8, 2016

දිවි කැපකළ ඒ මිනිසුන්...

අයුක්තියේ පාලනයෙන් පෙලෙනා දන මුදා ගන්න
මුළා අඳුරෙසිහින දකින දන නින්දෙන් ඇහැරවන්න
සැමට සතුට සපිරුණු ඒ සුන්දර දින බිහිකරන්න
දිවි කැපකළ ඒ මිනිසුන් හදවත් තුළ සදා වෙසෙන

Saturday, October 29, 2016

හුදකලාව

පංකා නද මට තනි රකිනා
නෙක සිතිවිලි සිත රජ කරනා
පාඩම් පොත් නැලවිලි ගයනා
කොළඹදි රැය තනිවම ගෙවෙනා

Wednesday, September 21, 2016

කවුරු ඉන්නෙද ඉතිරිවී...

'නුවණ ඇත්තන්' ඉසුරු සොයලා ඉගිල යනවා රටින් පිටවී
දිවිය වැරදුණු අයද යනවා අතීතය ගැන දුකට පත්වී
රටක් හදනට දිරිය ඇති අය දමා යනවද උරණවී
ඔබත් යනවා මාත් යන්නද කවුරු ඉන්නෙද ඉතිරිවී

Tuesday, August 30, 2016

පාවෙන වළාකුලෙන් අසමි...

කොළඹින් එන විට උඹ එය ඇහුවද? ඇමතිවරුන් යන වාහන සද්දය
රජරට යනවිට උඹ එය දැක්කද? ජලයත් විෂවී විඳවන කරුමය
උතුරත් දකුණත් හරි හැටි බැළුවද? ජාතිය නාමෙන් රවටන අරුමය
පාවෙනවිට උඹටත් එය දැනුනද? එකම රටක් තුල වෙනසක පුදුමය

Monday, August 1, 2016

සිහිනයට අත්වැලක්...

ඒ පොඩි සිත්වල දිරිය වැඩෙන්නට
සිතේ ඇඳෙන හීනය වෙත යන්නට
හෙට දින බිහිවන ලොව ජයගන්නට
හැකිවෙද උපකාරය ලැබ දෙන්නට

මහනුවර උඩුමුල්ල ගම්මානයේ දරුවන් 29 දෙනෙකුට පොත් සහ පාසල් උපකරන ලබා දීමේ කටයුත්තට සහය වීමට කැමති නම් නාලක දිසානායකට දන්වන්න...

Monday, July 4, 2016

සමාජ ජාල වෙබ් අඩවි...

එකලදි මටත් වැරදිම විතරයි ඇසුනේ
එනමුත් මටත් එක්වී බලනට සිතුනේ
එෆ්.බී,බ්ලොගර් සමඟින් මා එක්වන්නේ
පහත තිබෙන මතයයි සිත තුළ පිරුනේ

කවිද කතන්දර නිතරම කියවන්නේ
පාළුව දුරලමින් සිත්තොස පුරවන්නේ
දැනුම බෙදා ගැනුමට හොඳ මග වන්නේ
හොඳට හදන දේ වැරදිව ඇයි ගන්නේ

Monday, June 20, 2016

මම?

සොයා බලනෙමි මගේ ගැන මම මෙලොව ඉන්නේ කුම කරන්නද?
විවිධ රසයන එකට මුසුකර අළුත් දේවල් සොයා ගන්නද?
සිතේ හැඟුමන් වදන් කරමින් තවත් කවිපද ලියාලන්නද?
මගේ ගැන මට සොයා ගන්නට තවත් කොපමණ කලක් යාවිද?

අප කාටත් ඇති ප්‍රශ්නයක් මට දැණුන ආකාරය.

Friday, May 20, 2016

ගංවතුර

සොබාදහම උරණව දඬුවම් දෙනවා
වැසි වැඩි වෙමින් ගංගා දිය උතුරනවා
ඒ ගං දියට දිවි පැතුමන් යටවෙනවා
ගං දිය උඩින් මනුසත්කම උතුරනවා

Saturday, April 30, 2016

පාලකයිනේ,

වැඩට හෙලනා දාඩියේ නිසි අගය ඉල්ලා
පෙරට ආ ඒ දිරිය මිනිසුන් රුහිරු හොල්ලා
එදානැගිටුම එහෙව් අයුරින් නතර කරලා
මෙදා උඹලම දිනය විකුණා සමරපල්ලා

Friday, April 22, 2016

මිහිකත සුරකින්න...

සංවර්ධනය නාමෙන් වන එළිවෙනවා
දැරිය නොහැකි ලෙස කම්හල් ඉදිවෙනවා
වාතය,ජලය මෙන් පොළවද විෂවෙනවා
ඉවසුම් නොදෙන ලෙස මිහිකත රත්වෙනවා

හැකි සැම විටම තිබෙනා ගස් රැකගන්න
හෙට වෙනුවෙන්ම අලුතෙන් පැළ සිටුවන්න
අපව රකින ගං ඇළ දොළ රැකගන්න
අද මෙන් හෙටත් මේ මිහිකත සුරකින්න

මිහිකත දිනය වෙනුවෙනි...

Sunday, April 3, 2016

(අ)සුභවාදී

බාගය නොමැති බව කීමද කළ යුත්තේ?
බාගය තිබෙන බව කීමද කළ යුත්තේ?
බාගය පිරවීම නොවෙදෝ කල යුත්තේ?
මේවට දෙන්න පිළිතුරු මොනවද ඇත්තේ?

කුප්පි ලාම්පුව එලියයි සිතු අයද?
ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?
ලෝකය වෙනස් කලෙ මේ අයගෙන් කවුද?
දන්නා කෙනෙක් මට පහදා කියනවද?

Sunday, March 6, 2016

දෙබස

අම්මා-පුතේ එපා නවතන්නට උඹ උ.පෙළින්
         තවදුර යන්න සිදුවෙනවා ඉගෙනීමෙන්

         උගත් කමෙත් ධනයෙත් වෙනසද තිබෙන
         අහසට පොළව සදිසිය උඹ දැනගන්න

දරුවා-කල් ගත නොවනු ඇත මේ ටික දැනගන්න
         අදටත් අපේ අවටින් ඇත දැක ගන්න

         සල්ලි කාරයන් යනවිට ආකාසෙන්
         පාරේ ඉඳන් රැකියා ඉල්ලති උගතුන්...

Sunday, February 14, 2016

සිහිනය...

දකින සිහින පැදුරේදිම බොඳ වෙනවා
සියුමැලි දැත් රලු ගල් හා හැප්පෙනවා
එපිට ලොවක් ගැන තවමත් නොපෙනෙනවා
ගල්ගෙඩි අතර දුක විඳිමින් ලත වෙනවා

පාසල් යන්න ආසාවක් සිත තිබෙනා
හීනෙන් පවා දුටුවිට පොඩි සිත දැවෙනා
කොතනද වරද හරි හැටි සිත නොම දන්නා
ලෝකය දිනන අරමුණ මිරිඟුව වෙන්නා

නායක නමින් රජ කරනා ලොකු ඇත්තෝ
උන්ගෙම සතුට වෙනුවෙන් සිටිනා ගැත්තෝ
රටම රවටමින් රඟදෙන මේ ඇත්තෝ
උඹේ සිහින හොරකම් කර අරගත්තෝ

වීරිය අරන් උඹ ටික ටික හිට ගන්න
ලොක්කන් දෙකන් ඇරෙනා ලෙස හඬ දෙන්න
හොරකම් කරපු ඒ හීනය ඉල්ලන්න
සැම වෙනුවෙන්ම සුවිසල් ලොව ජයගන්න

                                                       ඡයාරූපය අන්තර්ජාලයෙනි

Monday, February 1, 2016

නගරයේ රෑ

ඔබ සැම දෙන නිදියන අතරේ
අඳුරෙන් වැසි සුන්දර නගරේ
ගෙවෙනා හැම තත්පර අතරේ
නොසිතන ලෙස අරුමය පැතිරේ

දුම්‍රිය තුළ ලිපි එන අතරේ
තොග බඩු සැළ වෙත එයි නගරේ
මේ හැම සිදුවන විට නගරේ
ජීවිත විකිනෙණවලු අඳුරේ

නොනිදන කඩපෙළ එළි දෙනවා
හොඳ හැටි කෑමද විකිනෙණවා
එක එක රංගන රඟදෙනවා
පැය ටික මේ ලෙස ගතවෙනවා

පිරිතේ නාදය රැව්දෙනවා
ආසිරි පැතුමන් එක්වෙනවා
හෙමිහිට අරුනළු පැතිරෙනවා
නොදකින යාමය නිමවෙනවා

Sunday, January 10, 2016

කඳුළ

විද්‍යාවේදි ඇස රැකගත් ද්‍රාවණය
සතුටත් දුකත් ළඟ නිබඳව එකලෙසය
හඬ නොනැඟෙන්න ලොව වෙත දෙන පණිවිඩය
වදනින් කියනු බැරි හඟුමක ප්‍රතිඵලය