Monday, August 28, 2023

සිහින

කළුවර යාමයේ මනසේ දකින්නේ 

පෙනෙනා නෙතේ නෙපෙනෙන සේ ඇඳෙන්නේ

සැලසුම් තිබෙන විට අරමුණ කියන්නේ

සිහින මත වගෙයි ලෝකය දුවන්නේ



Saturday, February 27, 2021

ඈත තරුව...

ශීත රැයක ඈත තරුව රුවට දිලෙනවා

එහෙව් තරුව ළඟට ඇදෙන හීන පෙනෙනවා

ශීත මකන සුවය සදන අයුරු හැඟෙනවා

සැබෑවටම එදෙසට යන මඟක් සොයනවා




Thursday, December 31, 2020

නව වසරේදී

රෝ බිය දුරලන ලෝකයෙ සටනට අපගේ දිරියද එක්කරමු
වැනසී මියෙනා මිහිකත රැකුමට සැම එක්වී යළි පණ පොවමු
යුක්තිය දිනවන මතුදින වෙනුවෙන් නිවැරදි යුතුකම ඉටුකරමු
මිනිසුන් වෙනුවෙන් මිනිසුන් සිතනා ලොවකට පදනම බිහිකරමු

Tuesday, August 11, 2020

ශීත බීම...

 වෙහෙසකර දවසක්

සිතට වද දෙන පැනයක්

ශීත බීමත් කවියක්....

(ඡායාරූපය අන්තර්ජාලයෙන්)

Friday, November 22, 2019

මල් කුමරි...

දිවි මරණ දරුණු විශ පොළව තුළ සඟවලා
ඉහළ ඇදි ළතාවක අතු අගේ පීදිලා
යනෙන නෙත් හැමක වගෙ සොඳුරු පැහැ තවරලා
දැනෙන සේ හිනැහුනා මල් කුමරි නියඟලා

Friday, June 21, 2019

මතු දිනේ...

පාන්දර හිරු එළියෙ රන් කිරණ තැවරිලා
සිසිළ දෙන පිණිබිංදු දස අතම විසිරිලා
හරිත පැහැ අතු අගට රතුපාට මුහුවෙලා
මතු දිනේ ගසක් වන මලක් විකසිතවෙලා

මතු දිනේ ගස වෙන්න පොළව ශක්තිය දේවි
අතු දසත පතුරුවා සෙවණ සිසිළස දේවි
තවත් මල් පිපෙන්නට ගසක් වී දිරි දේවි
මහ රුකක් වී එලෙස දිගු කලක් වැජඹේවි

Sunday, February 18, 2018

ආසාත්මිකතා සඳහා පරික්ෂා කර ඇත

පරික්ෂා කර තිබුනෙ මුම්බායෙ කීවාද?
නළුවන්ද නිළියන්ද ක්‍රීඩකයො හිටියාද?
නියැදියට ගනු නොහැකි ඒ සුපිරි ජීවිතද?
ඒවාට ගන්නේම නොවටිනා පොඩි උන්ද?

වීරියම ගෙන ගතට කෙසේ හෝ බර අදින
කැළි කසළ ඉවතලා නගරයම හැඩ කරන
ජීවිතය විකුණමින් ජීවිතය ගැටගහන
නියැදි වූවත් තොපට හදවත්ය පණ ගැහෙන 

Sunday, October 1, 2017

චේ...

වැළපෙන දනන් වෙත සිනහව ගෙන එන්න
මනුදම් රැකෙන ලෝකය බිහිකරලන්න
යුක්තිය නාමයෙන් දිවියම පුදදුන්න
කෙදිනකවත්ම නොමමියයන සොයුරාන

Sunday, August 6, 2017

විභාගයට පෙර

දිරිය ශක්තිය සිතේ දරමින
සෑම සවියෙන් පෙරට ඇදෙමින
ලොවට යුතුකම සිහි තබාගෙන
ඉගිල යනු මැන කරා අරමුණ

අැරඹීමට නියමිත උ.පෙ. විභාගයටත් ඉන්පසු ඇරඹෙන ජීවිතයටත් සාර්ථකව මුහුණ දීමට සුභ පතමි...

Wednesday, June 14, 2017

වැරදීම...

ඉදිරියේදී ඇහේවි,
"වැරදි බෙහෙතක් විදල මිනිහෙක් මැරුණට ඔච්චර බනිනවා නම්,උන්ට පුළුවන්නෙ වෙදකම් කරගන්න.දොස්තර මහත්තයා මෙච්චර කාලයක් ලෙඩ්ඩු කීයක් ගොඩදාල තියෙනවද?ඒව එකෙක්ට මතක නෑ."
***********************
"අළුත් සිලබස් එක ආවම පරණ එ්වම උගන්නල ළමයි ෆේල් වුනා කියල ටීචර්ට බනින්නෙ,උං කාටවත් උගන්නපු උන්ද?"
***********************
"35කට බඩගියා කියල කඩේට සීල් තියන්න ඕනෙද ? ඔය කරපු උන්ට ඇවිත් උයන්න කියපං"


Saturday, May 20, 2017

රගර් රජු....

රටේ නම ලෝකයෙ තියා
කෙළිබිමේ අසිරිය කියා
මනැස් තුල මතකය තියා
රගර් රජු යන්නට ගියා

ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු නායක ෆසීල් මරීජා අද දින(20/05/2017) ජාත්‍යන්තර තරග (සාමාජිකයන් 15) වලින් සමුගැනීම නිමිත්තෙනි.

Sunday, March 12, 2017

කළු කුමර කව

  මීට පෙර ලියූ මෝහිනී කවි පන්තියට පිළිතුරකි,

සැන්දෑ එළිය රඹ පාටින් පැතිරෙනවා
සිහිල් සුළං තාලෙට ඇදි ඇදි එනවා
මගේ දෑස දෑසේ නවතිනවා
නාන තොටේ සිට නිවසට යනවා

සිත කළඹනා මල් සුවඳකි පැතිරෙන්නේ
නෙක පෙම් වදන් අප අඳුරේ මුමුනනේ
සුන්දර හැඟුම් හදවත් තුළ පූදින්නේ
නිසසළ රැයක අප හැඟුමන් එක්වෙන්නේ

"උඹට ඔහොම ගං කෙල්ලන් හරියන්නෑ"
"ලෝකෙට පෙන්වනා තත්වෙට ගැලපෙන්නෑ"
වැඩිහිටියන්ගෙ උපදෙස් නවතින්නෑ
සිටුකුමරෙකුගෙ ආදරයද නිදහස් නෑ

මල් සුවඳ හිත පතුලෙම තදකරලා
ගියමුත් ගඟේ පතුලට මා සැඟවීලා
නාන තොටක් දුටුවම සිත නැවතීලා
තවමත් බලනවා ඇයමද කියලා


Friday, February 17, 2017

මිනිහෙකුට පුළුවන්ද?

සැම දනන් නිදි අතර අවදියෙන් පසුවෙන්න
අයුක්තිය ඉදිරියේ හඬනගා හිටගන්න
පොදු සතුට ගැන සිතා තම දිවිය දන් දෙන්න
මිනිහෙකුට පුළුවන්ද ඒ තරම් කැපවෙන්න

Saturday, December 31, 2016

2017

සැම දුක්ගිනි නිම කරමින් සතුටේ මල් වැසි වසින්න
සැක සංකා දුරුකරමින් විශ්වාසය පතුරුවන්න
භේදභින්න වූ මිනිසුන් සොයුරන් සේ එකතු වෙන්න
අඳුරට ආලෝකය ගෙන නව වසරක් උදා වෙන්න

Sunday, December 11, 2016

ජීවිත කතාවක්...

උපන්දා සිට මෙදා වනතුරු පියා කවුදැයි දැක නැතී
වත්ත අද්දර පාසලෙන් මට පාඩමක් කියලා නැතී
අම්ම හැර වෙන නෑසියන් මට ජීවිතේ ඉඳලා නතී
අම්ම කලදේ හැර කුමක් මා කරන්නද කෙලෙසට සිතී

Tuesday, November 8, 2016

දිවි කැපකළ ඒ මිනිසුන්...

අයුක්තියේ පාලනයෙන් පෙලෙනා දන මුදා ගන්න
මුළා අඳුරෙසිහින දකින දන නින්දෙන් ඇහැරවන්න
සැමට සතුට සපිරුණු ඒ සුන්දර දින බිහිකරන්න
දිවි කැපකළ ඒ මිනිසුන් හදවත් තුළ සදා වෙසෙන

Saturday, October 29, 2016

හුදකලාව

පංකා නද මට තනි රකිනා
නෙක සිතිවිලි සිත රජ කරනා
පාඩම් පොත් නැලවිලි ගයනා
කොළඹදි රැය තනිවම ගෙවෙනා

Wednesday, September 21, 2016

කවුරු ඉන්නෙද ඉතිරිවී...

'නුවණ ඇත්තන්' ඉසුරු සොයලා ඉගිල යනවා රටින් පිටවී
දිවිය වැරදුණු අයද යනවා අතීතය ගැන දුකට පත්වී
රටක් හදනට දිරිය ඇති අය දමා යනවද උරණවී
ඔබත් යනවා මාත් යන්නද කවුරු ඉන්නෙද ඉතිරිවී

Tuesday, August 30, 2016

පාවෙන වළාකුලෙන් අසමි...

කොළඹින් එන විට උඹ එය ඇහුවද? ඇමතිවරුන් යන වාහන සද්දය
රජරට යනවිට උඹ එය දැක්කද? ජලයත් විෂවී විඳවන කරුමය
උතුරත් දකුණත් හරි හැටි බැළුවද? ජාතිය නාමෙන් රවටන අරුමය
පාවෙනවිට උඹටත් එය දැනුනද? එකම රටක් තුල වෙනසක පුදුමය

Monday, August 1, 2016

සිහිනයට අත්වැලක්...

ඒ පොඩි සිත්වල දිරිය වැඩෙන්නට
සිතේ ඇඳෙන හීනය වෙත යන්නට
හෙට දින බිහිවන ලොව ජයගන්නට
හැකිවෙද උපකාරය ලැබ දෙන්නට

මහනුවර උඩුමුල්ල ගම්මානයේ දරුවන් 29 දෙනෙකුට පොත් සහ පාසල් උපකරන ලබා දීමේ කටයුත්තට සහය වීමට කැමති නම් නාලක දිසානායකට දන්වන්න...